Friday 29 March 2024

හතේ පන්තියේ (ප්‍රගති වාර්තා) පොත - A leaf from the past


මා වයස අවුරුදු දොළහේ දී, ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ හත්වෙනි ශ්‍රේණියේ ලබාගත් අධ්‍යාපනයේ ප්‍රගති වාර්තා සටහන මෙසේ පළ කරන්නේ ඒ පිළිබඳ සිත් ගන්නා සුළු නිරීක්ෂණ කිහිපයක්ම කළ හැකි නිසාය.

1. එකල අපි විෂය දොළහක් ඉගෙන ගත්තෙමු.

2. ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලට අමතරව තුන්වෙනි භාෂාවක් ඉගැන්වීමට ද අරමුණක් තිබී ඇති බව පෙනේ.

3. නොදන්නා පිරිස් කුමක් කීවත් මෙහි ඇති සමාජ අධ්‍යයනය යන විෂය ඉතා පුළුල් ක්ෂේත්‍රයක කරුණු අඩංගු වූ වැදගත් විෂයකි.

4. මේ පන්තියේ මා සමග ඉගෙන ගත් සහෝදර සිසු සිසුවියන් පිළිබඳව නම් මට ඇත්තේ ඉතා දුකකි. ඒ මක්නිසාද යත්, හතේ පන්තියේ දෙවන වාරය වන විට ලැබූ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය පහළොවකින් පමණ අඩු වූව ද මට පන්තියේ පළමුවෙනි ස්ථානය ලබාගත හැකි විය.

5. මගේ ලකුණු කෙසේ වෙතත්, පන්තියේ සමස්ත සිසු ගහනයේ ලකුණු සාමාන්‍ය අගය හතළිහකි. පස්දෙනකු පමණ හැර මේ පන්තියේ සිටින සිසුන් සියලු දෙනාම ඊට වසර දෙකකට පෙර තරගකාරී විභාගයකින් සමත් වී මෙම විදුහලට පැමිණි අය බව සලකන විට එය ඉතා බරපතල තත්වයකි. එසේම, සාමාන්‍ය අගය හතලිහක් නම්, උපරිමය හැට එකක් නම් සාමාන්‍යය විස්සක් පමණක් වන එක් අයෙකු හෝ සිටින්නට ඇත.

6. හොඳින් විමසා බලන විට මගේ ලකුණු අඩුවී ඇත්තේ සංගීතය විෂයට සහ සෞඛ්‍ය අධ්‍යනය නම් විෂයට ලකුණු අඩුවීම නිසාය. එයට හේතුව මෙහි ඇති ලකුණු විසි නමය සහ තිහ යනු විභාගයෙන් මා ලද ලකුණු පමණක් ම වීමයි. ප්‍රායෝගික පරීක්ෂණ යේ ලකුණු මෙහි ඇතුලත්ව නැත. මේ වාරයේ මා පාසලට ගොස් නැති දින ගණන අටක් තරම් වැඩි බව පෙනෙන නිසා බොහෝ විට මේ ප්‍රායෝගික පරීක්ෂණය තිබුණු දිනවල මා පාසලට යන්නට නැතැයි සිතමි.

- රසිකොලොජිස්ට්

ප/ලි:
මේ වසර අවසානයේ අපේ පවුල "හෝම්ලස්" තත්වයට පත්වූ අතර තාත්තාගේ මහගෙදරින් නික්මී ඔහුගේ මිතුරන්ගේ නිවාස දෙකක ද, පසුව කුලී නිවසක ද වසර හතරක් පමණ කාලයක් ගත කිරීමට සිදුවිය. හත්වෙනි ශ්‍රේණියේ අවසන් දින කිහිපයේ පාසල් නොයා සිටීමට හේතුව එම හෝම්ලස් වීම යැයි සිතමි.